Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

5 minutes ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්මල්ලි’ නමැත්තාගේ සමීපතම ඥාතියකු වූ දමිත් ප්‍රසාද් ෆොන්සේකා නොහොත් ‘භූත කළුවා’ කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙහිදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක්, කඩු 4ක් ඇතුළු ආයුධ රැසක් සහ ජංගම දුරකථන 4ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මුහුණු ආවරණය කරගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඉකුත් 7 වැනිදා අලුයම 1.45ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණ, ‘භූත කළුවා’ නමැත්තා සිටි නිවසේ දොරකඩා ඇතුළු වී ඇඳක් මත නිදා සිටියදීම තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබුණි.

මෙලෙස ඝාතනය වූ දමිත් ප්‍රසාද් ෆොන්සේකා දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකුය.

ඔහු ‘කොස්මල්ලි’ නමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ වසර කිහිපයක් රැඳී සිට ඇති අතර, එහිදී ඔහු අංශභාග රෝගී තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සති කිහිපයකට ඉහතදී යළි දිවයිනට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

‘භූත කළුවා’ නමැත්තා ඝාතනයට  පැමිණි බවට සැකකරන පුද්ගලයකුගේ ඡායාරූපයක් CCTV දර්ශන ආධාරයෙන් ලබාගෙන, එය ඉදිරි විමර්ශන සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා තිබේ.

එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ අඟලාන ප්‍රදේශයේ පදිංචි අයෙකුට 65%ක් පමණ සමාන බවට එම වාර්තා කොට්ඨාසයට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ඝාතනයට ඔහු සමග තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ගිය බව හෙළිවී ඇත.

ඔවුන් අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින සැන්ඩෝ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානම ගෝලයෙකු සිටින බවට කරුණු අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.

ඔහු තෙලවල නිවාස සංකීර්ණයේ ‘සංජු’ නමැත්තෙකු බවට සැකකරුවන්ගෙන් අනාවරණය වී ඇත.

එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදාගත් විශාල ප්‍රමාණයේ කඩු 3ක් සහ පාපැදි කොක්ග්‍රීල් එකක්, අපරාධ කල්ලි සාමාජිකයන් නිර්මාණය කරන ලද තියුණු ආයුධයක් එම සැකකරු පදිංචි නිවස පිටුපස කැලෑවක තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම අපරාධය සඳහා කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලකට ත්‍රීරෝද රථයක් කුලී පදනම මත ලබාගෙන, එයට ව්‍යාජ අංක තහඩුවක් සවි කර අපරාධය සඳහා පැමිණි බවටද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

අදාළ ත්‍රීරෝද පදවා ඇත්තේද තෙලවල ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව, එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් අනාවරණය කළ තොරතුරු අනුව අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථය සහ අපරාධයට පැමිණි බව කියන තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *