රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කෙරිණි.
මෙම ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදා ඉදිරිපත් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ ලිඛිත දේශන ලබන 25 වනදා ගොනුකරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.
මෙම නඩුකරය අද (18) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනී… මෙම අල්ලස් චෝදනාවට සම්බන්ධ තවත් නඩුකරයකට මෙම සැකකරු පෙරේදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුකරයකටයි ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ. මෙම සිද්ධිය යටතේ අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා දෙවර්ගයම අනාවරණය වීම නිසා මෙම පරීක්ෂණය අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරනු ලබනවා. දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි විමර්ශනයකට නීතිපතිවරයාගේ සහය ලබා ගැනීමටත් අල්ලස් කොමිසමට හැකියාව තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
වැඩිදුරටත් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දන්වා සිටී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා “ස්වාමීනී.. මෙම විමර්ශනයට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. කථානායක නිල නිවසේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ශමින්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරු විදේශගතව සිටීම පිළිබඳව චමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශය සටහන් කර ගනු ලැබුවා. ඊට අමතරව සුසන්ත චමින්ද රත්නායක සහ දිමුතු සංජය නමැති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවුණා. මේක 2012 වසර දක්වා දිවෙන විමර්ශනයක්. මෙම සිද්ධියේ පළමු වන සැකකරුවන කපිල චන්ද්‍රසේන මේ වන විට මියගොස් සිටිනවා. දෙවන සැකකාරියවන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඕස්ට්‍රේලියාවට පලා ගොස් තිබෙනවා. තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂත් ඇමරිකාවට පලා ගොස් තිබෙනවා. ඊට අමතරව සැකකාර නාමල් රාජපක්ෂ සහ සාක්ෂිකාර නිමල් පෙරේරා සිටින ඡායාරූප හමුවී තිබෙනවා. ඒ ඔස්සේත් වැඩිදුර විමර්ශන සිදුවෙනවා. මෙම සැකකරුට අදාළව දූෂණ විරෝධී පනතේ එකසිය 149 වන වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබෙනවා. සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට ඇප ලබා දිය හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවක පමණයි. පසුගිය වතාවේ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සුවිශේෂි කරුණු නොවන බවට ඔබතුමා තීරණය කරලා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.” ඒ අනුව මෙම සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඇමතූ මහේස්ත්‍රාත්වරයා “මෙම නඩුකරයේ සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?” යනුවෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ “මේ වනවිට අමෙරිකාවට පලා ගොස් සිටින ශමින්ද්‍ර රාජපක්ෂ නමැති සැකකරු සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පලා ගොස් සිටින දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජෙනායක සම්බන්ධයෙන් රතු නිවේදන ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මෙම කටයුතු කඩිනමින් ඉටුකර ගැනීම සඳහා සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කිරීම අවශ්‍යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතුවල ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා අපි අධ්‍යයනය කරමින් සිටිනවා. එම නිසා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරලා සියලුම සැකකරුවන්ට එරෙහිව කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනී… පසුගිය වතාවේ සුවිශේෂී කරුණු නොමැති බව බව තීරණය කරමින් ඔබතුමා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නමුත් ඉන් පසුවත් මේ සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු මතුවී තිබෙනවා. ස්වාමීනි… එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වී තිබෙනවා. ඊට අදාළ වාර්තාවේ කිසිදු ස්ථානයක මේ සැකකරුගේ නම සඳහන් වී නැහැ. මේ සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටින්නේ නිමල් පෙරේරා නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශයකට අනුවයි. ඕස්ට්‍රේලියාවේ සිටින නිමල් පෙරේරා නමැත්තා එක් අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී සඳහන් කර තිබුණා මේ මුදල් පැමිණියේ තමන්ගේ ගිණුමකට නොවන බවට. ඒ වගේම නිමල් පෙරේරා අසත්‍ය ප්‍රකාශ සිදු කළ බවට එක් අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවලින් කරුණු දක්වා තිබුණා. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අල්ලස් මුදල නිමල් පෙරේරාගේ ගිණුමට ඇවිත් තිබෙනවා නම් ඔහු අපරාධ සහායකයකු වශයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඊට අමතරව රිමාන්ඩ් භාරයේ සිටින මෙම සැකකරුට ඉන්දීය රජයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට. ඔහු රිමාන්ඩ් බාරයට පත්ව සිටීම නිසා එම සංචාරයත් අවලංගු කිරීමට සිදුවෙනවා. මෙයත් සුවිශේෂී කරුණක් වශයෙන් සලකන මෙන් මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඉදිරියේදී හිඟුරක්ගොඩ වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පෙරහැර දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහරට පමණයි . එම පෙරහර පැවැත්වෙන අවස්ථාවේ එනම් සැප්තැම්බර් මස 26 වන දා රාත්‍රී 7.42 ට හඟුරන්කෙත විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් විසින් මෙම සැකකරුට ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා එම කටයුත්තත් ඉටුකිරීමට නොහැකි වෙනවා. ඒක ආරාධනාව කළ ස්වාමීන් වහන්සේට කරන අගෞරවයක්” මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා “ස්වාමීනී… නිමල් පෙරේරා නමැති පුද්ගලයාගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ඔබතුමා පසුගිය වතාවේ නියෝගයක් ලබා දුන්නා. එම සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය හැක්කේ නඩු විභාගයකදී පමණයි. මේ අවස්ථාවේදී ඒ පිළිබඳව සලකා බැලීමට හැකියාවක් නෑ. ඒ නිසා එය සුවිශේෂී කරුණක් වශයෙන් සලකන්න බෑ. ඉන්දියානු සංචාරය මෙන්ම විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණුත් සුවිශේෂී කරුණු වශයෙන් සැලකීමට හැකියාවක් නැහැ. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් තීන්දුවක් ලබා දුන්නා. එම තීන්දුව තුළින් අවධාරණය කර තිබෙනවා බුද්ධ දර්ශනය අනුව දූෂණයෙන් මිදී කටයුතු කළ යුතු ආකාරය. අංගුත්තර නිකාය හා සූත්‍ර පිටක ඔස්සේ විනිසුරුතුමා බෞද්ධ දර්ශනයට අනුකූලව දූෂණයෙන් මිදීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ධර්මානුකූලව කටයුතු කළ යුතු ආකාරය ගැනත් කරුණු පැහැදිලි කර තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් හොඳයි. නමුත් මෙම කරුණු සුවිශේෂී කරුණු හැටියට සලකන්න බෑ. “වැලිගම බේ” නමැති සිද්ධියක් සම්බන්ධයෙනුත් මේ වන විට විමර්ශනයක් පැවැත්වෙනවා. එහිදීත් රුපියල් මිලියන 175 කට අධික සැක කටයුතු මුදල් ලැබීමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම මුදලත් ලැබී තිබෙන්නේ නිමල් පෙරේරගේ ගිණුමට” එම නිසා මෙම අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන නාමල් රාජපක්ෂ නමැති සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.
දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්