තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවේ පිටපත මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව විනිසුරුවරිය පෙන්වා දුන් බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.
ඒ අනුව අදාළ ඇප තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි මහාධිකරණ විනිසුරුවරිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට දැනුම් දුන්නේ.
අනතුරුව මෙම පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා දක්වා කල් තැබුණා.
