Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී

2 minutes ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ මහතා තම සුරතල් බලු පැටියාට වදහිංසා කළ බව පවසමින් කරදන ගමරාලලාගේ වණිතා ආදර්ශනී කරදන නැමැති කාන්තාව විසින් සමාජගත කළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සියල්ල සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද  ව්‍යාජ ඒවා බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

මෙම ව්‍යාජ දර්ශන පදනම් කරගනිමින් තමන් එදා සිදුකළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළ කිරීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පියවර ගැනීමත් සමඟ, ආශු මාරසිංහ මහතා ඇයට එරෙහිව පවරා තිබූ අපහාස කිරීමේ නඩුව විවෘත අධිකරණයේදී සමථයකට පත් වුණා.

අධිකරණ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ 2023 දෙසැම්බර් 23 වනදා වණිතා ආදර්ශනී නැමැති කාන්තාව සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයට පැමිණ, ආශු මාරසිංහ මහතා බලු පැටියාට හිංසා කරන බව පවසමින් ව්‍යාජ සාක්ෂි පෙන්වා තමන් ඇතුළු පක්ෂයේ විධායක කමිටු කාන්තාවන් දැඩි ලෙස නොමඟ යැවූ බවයි.

එමෙන්ම මහජන නියෝජිතයන් වශයෙන් යම් පුද්ගලයෙකු තමන්ට සිදු වූ අසාධාරණයක් හෝ දුකක් ප්‍රකාශ කළ විට, ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම සාමාන්‍ය බව පැවසූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,  එදින අදාළ කාන්තාව අසලින් වාඩි කරවාගෙන මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලැබුවේ ද ඒ අනුව බව එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත්, පසුව මේ පිළිබඳ ඉදිරි සාක්ෂි ඉල්ලා සිටීමේදී ඇය තමන්ව මඟහැරීමට කටයුතු කළ බවත් ඉන්පසුව ආශු මාරසිංහ මහතා තමන්ටට විරුද්ධව නඩු පැවරූ බවත් කියා සිටියා.

එම අධිකරණ ක්‍රියාවලියේදී අදාළ වීඩියෝ දර්ශන සියල්ල එම කාන්තාවගේම අනුදැනුම ඇතිව විකෘති කරන ලද ව්‍යාජ ඒවා බවට ආශු මාරසිංහ මහතා සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වූ බව පැවසූ ඇය පෙන්වාදෙන්නේ, මාධ්‍ය සාකච්ඡාව පවත්වන අවස්ථාවේදී එම දර්ශන විකෘති කරන ලද ඒවා බව තමන් දැන සිටි නොමැති බවයි.

එබැවින් තමන් සිදු කළ එම ප්‍රකාශ හේතුවෙන් එතුමාට සිදු වූ නින්දාව සහ අපහාසය පිළිබඳව මම කණගාටුව ප්‍රකාශ කළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවා.

මෙහිදී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන විවෘත අධිකරණයේදී කණගාටුව ප්‍රකාශ කරමින් මෙම සමථයට පැමිණීම පිළිබඳව තමන් ස්තූතිවන්ත වන බවයි.

මෙම නඩුව අවසන් කිරීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කළේ තමන් බවත්, ඇය යථා තත්ත්වය වටහා ගැනීම සතුටට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් මෙම නඩුකරය සමථයකට පත්වීම පුද්ගලික එකඟතාවකට එහා ගිය සුවිශේෂී දේශපාලන හැරවුමක් සඳහා අවස්ථාවක් කරගන්නා බව ද දෙපාර්ශවයම ප්‍රකාශ කළා.

පැරණී එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා නැවත එකතු විය යුතු බව තමන් දිගින් දිගටම ප්‍රකාශ කළ බවත්, මෙම සමථය සජබ සහ යූඑන්පී එකතු වීමේ මුල් පියවරක් ලෙස සනිටුහන් වන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආශු මාරසිංහ මහතා ද කියා සිටියේ, මෙම සිදුවීම සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට නැවත එකට එකතු වීමට කදිම පූර්වාදර්ශයක් සපයන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *