Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුනේ සිටියේ පාටලී චම්පිකයි! සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි

2 hours ago

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රමගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස නම් කර සිටි ගයාන් විනෝදක සාක්ෂි ලබා දුන්නා.

සිද්ධිය වූ දින තමා මිතුරකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් දුමක් වැනි යමක් දුටු බවත්, එහි අනතුරක් සිදුව ඇති බව වැටහී තමා එම ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා. එහිදී අනතුරට ලක්ව සිටි සංදීප් නමැත්තා දුටු බවත්, පසුව වාහනයකට කතා කර ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.

පසුව එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළ වාහනය පෙන්වූ බවත්, ඒ අනුව තමා එම වාහනය ලුහුබැඳ ගොස් එය නවත්වන ලෙස කෑගැසූ බවත් සාක්ෂිකරු කියා සිටියා. පසුව අදාළ වාහනයට ඉදිරියෙන් ගොස් යතුරුපැදිය නවත්වා, රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බව ද ඔහු පැවසුවා.

රියදුරු අසුනේ අව් කණ්ණාඩියක් පැළඳ, කළු පැහැති ටී-ෂර්ටයකින් සැරසුණු උස පුද්ගලයකු සිටිනු තමා දුටු බවත්, එම පුද්ගලයා “මම පාටලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න” යනුවෙන් පැවසූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

එම පුද්ගලයා අද අධිකරණයේ සිටින්නේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසූ අවස්ථාවේදී, විත්ති කූඩුවේ සිටි පාටලී චම්පික රණවකව සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේදී හඳුනාගනු ලැබුවා. තමා මොහුව පුවත්පත් සහ රූපවාහිනියෙන් නිතර දැක තිබූ නිසා හඳුනාගත් බව ද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

එහිදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර පාටලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න සඳහන් කළේ, මෙම අනතුර සම්බන්ධයෙන් නඩුවේ දෙවැනි විත්තිකරු වන දිළුම් තුසිත කුමාර මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන නඩුව අවසන් කර ඇති බවයි. එකම සිද්ධියකට විත්තිකරුවන් දෙදෙනකු සිටිය නොහැකි බවත්, මෙලෙස නඩු පැවරීමෙන් නීතියේ ආධිපත්‍යය කෙලෙසෙන බවත් ඔහු චෝදනා කළා. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුකරය මෙම නඩු විභාගයට බාධාවක් නොවන බවයි.

ඉන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් පසු වැඩිදුර සාක්ෂි විභාගය කල් තැබුණා.

2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරියේදී රිය අනතුරක් සිදු කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම සහ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා මත පාටලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *