අවශ්‍යතාව සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම මෙන්ම ආයෝජන සඳහා සුදුසු විශාල ඉඩම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (09) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමිනි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී හඳුනාගන්නා හදිසි පාලම්, මාර්ග සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැනි ව්‍යාපෘති මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්රමුඛ අරමුණ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මහජන සේවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බව සඳහන් කළේය.
එහිදී දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
අධි අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොදීමත්, එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් අනුමත නොකිරීමත් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මධ්‍යම කඳුකරයේ සංවේදී භූමි ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති අතර, ලබන වසරේදී එහි කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් විය.
යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ලබන වසර තුළ එවැනි පවුල් 13,000ක් යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම ගංවතුර හා නායයෑම්වලට නිරන්තරයෙන් ගොදුරු වන ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත නිවාස වෙත ක්‍රමානුකූලව යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
අතරමඟ නතර වූ නිවාස ව්‍යාපෘති පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදුකර ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති පමණක් තෝරාගෙන ඒවා සම්පූර්ණ කිරීම සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.
තවද, නිවාස හා අනෙකුත් ඉදිකිරීම් විධිමත් සැලැස්මක් යටතේ සිදුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දකුණු පළාතේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත්, උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සැලසුම් සහගතව සිදු කළ යුතු බවත් සඳහන් කළේය.
වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා රාජ්‍ය අංශයේ පුළුල් ප්රතිසංස්කරණයක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කාර්යක්ෂමතාවයෙන් තොර ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර ඇති බවත්, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්රවල පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.
බන්ධනාගාර තදබදයට හේතුවක් වී ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමේ ගැටලුව විසඳීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම සමුළුවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම්වරු, සියලු දිස්ත්‍රික් ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් අද දුන් නියෝගය
චාමිකගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
ඩොලරය යළි සෙලවෙයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන
කෝටි ගාණක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි