Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය

40 minutes ago

රජය විසින් යෝජනා කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTB) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ මඟින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) අදාළව මීට පෙර වාර්තා වී ඇති අත්තනෝමතික රැඳවුම් භාරයන්, වධහිංසා පැමිණවීම්, නිරීක්ෂණ කටයුතු සහ පුරවැසි නිදහස සීමා වීම වැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ජන බලවේගය 2024 මැතිවරණ ප්‍රකාශනය මඟින් PTA ඇතුළු මර්දනකාරී නීති අහෝසි කරන බවට දුන් පොරොන්දුවලට පටහැනිව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව මාස දෙකක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාදීමට සහ වසරක් හෝ උපරිම වශයෙන් වසර දෙකක් දක්වා එය දීර්ඝ කිරීමට මෙමඟින් බලධාරීන්ට බලය ලැබෙන අතර, පොලිසිය ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩදීම තුළින් වධහිංසා පැමිණවීම් දිරිමත් වීමේ අවදානමක් පවතින බවද සඳහන් වේ.

අදහස් ප්‍රකාශ කිරීමේ, සාමකාමීව රැස්වීමේ සහ සංගම් පිහිටුවීමේ නිදහසට මෙන්ම නීත්‍යානුකූල විරෝධතා සහ විරුද්ධ මත ප්‍රකාශ කිරීම්වලට මෙමඟින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්, අධිකරණ නියෝගයකින් තොරව පවා දුරකථන සහ ස්ථානගත දත්ත (location data) ලබාගැනීමේ පුළුල් නිරීක්ෂණ බලතල පොලිසියට ලැබෙන බවත් HRW පෙන්වා දෙයි.

මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් සහ යුරෝපා සංගමයේ GSP+ වෙළඳ වරප්‍රසාද සඳහා ලබා දී ඇති කැපවීම් කඩවීමකට ලක්විය හැකි බව පෙන්වා දෙන හියුමන් රයිට්ස් වොච්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම වහාම අත්හිටුවන ලෙසත්, සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *