Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය

59 minutes ago

දෙහිවලදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින්, අහිංසක දරුවන් දෙදෙනකු ඝාතනය වීමේ සිද්ධියේ, එම බෝම්බය ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා හා ඔහු පැමිණි ත්‍රිරෝද රථය පැදවූ බව පැවසෙන තැනැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් දෙදෙනා මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇති බව පොලිසිය පවසයි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළ නිවස හා ඔවුන් ඉලක්ක කළ නිවස එකම බිත්තියකින් වෙන්වී තිබීම නිසා නිවාස දෙක හඳුනාගත නොහැකි වූ බවය.

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඉකුත් 11 වැනිදා අලුයම එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 11ක් හා 17ක් වූ දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියාට බරපතළ තුවාල සිදුවුණි.

පියාගේ පාදයක් ඉවත් කෙරුණු අතර මියගිය දරුවන් දෙදෙනාගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදුවූයේ සුවහසක් දෙනාගේ සෝ සුසුම් මැදයි.

සිද්ධිය පිළිබඳ විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ආරම්භ කෙරුණි.

අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි ත්‍රිරෝද රථය වර්ණ වෙනස් කිරීම සඳහා ගරාජයකට ලබාදුන්නේ යැයි සැකකරන පුද්ගලයෙකු සහ එම ගරාජයේ හිමිකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබීය.

ඔවුන් හෙළිකර ඇත්තේ, ඉකුත් 10 වනදා රාත්‍රී 9ට පමණ පුද්ගලයෙකු පැමිණ එම ත්‍රිරෝද රථය රැගෙන ගිය බවය.

එම පුද්ගලයා කළුබෝවිල, සරණංකර පාර ප්‍රදේශයේ පදිංචි හිරුත්ම ශෂ්මික හෙවත් හිරු මල්ලි නැමැත්තා බව සැකකරුවන් අනාවරණ කර ඇත්තේය.

හිරු මල්ලි නැමැත්තා සමග, බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බවට සැකකරන මදුෂ්ක රේණුක ප්‍රනාන්දු හෙවත් මදූ නැමැත්තා ගොස් ඇති බවටත් එහිදී පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව, අහිංසක දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයා හා ත්‍රිරෝද රථයේ රියදුරු යැයි පැවසෙන පුද්ගලයා අද අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, බෝම්බ ප්‍රහාරය එල්ල කළ නිවස හා ඔවුන් ඉලක්ක කළ නිවස එකම බිත්තියකින් වෙන්වී තිබීම හේතුවෙන් නිවාස දෙක හඳුනාගත නොහැකි වී ඇති බවය.

තමන්ගේ ඥාති පුත්‍රයෙකු වූ කොස් මල්ලි නැමැත්තාගේ හා බෝදියාවත්තේ අවිශ්ක නැමැත්තන්ගේ උපදෙස් මත මෙම ප්‍රහාරය එල්ල කළ බවත් ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මදූ නමැති, බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා පසුගිය අගෝස්තු පළමුවැනිදා රත්මලාන කඳවල පාරේදී ජාතුංග ප්‍රියන්ත නැමැත්තා ඝාතනයේ වෙඩික්කරු ලෙසට කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *