Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!

4 hours ago

ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇරඹී ජාත්‍යන්තර අවධානය දිනාගත් ‘සාමයේ පාගමන’ (Peace March) 2026 අප්‍රේල් මස 21 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. අතිපූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා දොළොස් නමකගෙන් යුත් දූත පිරිසක් මෙම සුවිශේෂී ආගමික සහ සංස්කෘතික චාරිකාව සඳහා නායකත්වය ලබා දෙති.

බුදුන් වහන්සේ දේශනා කළ “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය” (මහණෙනි, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න) යන උතුම් ශ්‍රී සද්ධර්මය මෙම පාගමනේ මූලික පදනමයි.

බලහත්කාරයෙන් සාමය ඇති කළ නොහැකි බවත්, එය සිහිකල්පනාව සහ මෛත්‍රිය පෙරදැරිව පියවරෙන් පියවර වගා කළ යුත්තක් බවත් ප්‍රායෝගිකව ලොවට පෙන්වා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

දිවයින පුරා දින හතක් පුරා දිවෙන මෙම පාගමනේ කාලසටහන පහත පරිදි වේ:

  • අප්‍රේල් 21 (සමාරම්භය): පස්වරු 4:00 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ වන්දනාවකින් පාගමන ආරම්භ වේ. පස්වරු 5:00 ට රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී ආගමික වතාවත් පැවැත්වේ.
  • දඹුල්ල සහ මහනුවර: පාගමන දඹුල්ල රජමහා ලෙන් විහාරය හරහා ඓතිහාසික සෙංකඩගල පුරවරයට ළඟා වේ.
  • මහනුවර වැඩසටහන්: මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට නියමිතය.
  • අනෙකුත් පූජනීය ස්ථාන: නීලගිරි චෛත්‍යය, හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරය සහ මහියංගණ රජමහා විහාරය යන පූජනීය ස්ථාන කරාද මෙම සංචාරය විහිදී යයි.

විශේෂත්වය: මෙම පාගමන සමඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය ශාඛාවක් සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලාද වැඩම කරවනු ලැබේ.

2026 අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන විශේෂ රාජ්‍ය උත්සවයකින් පසු, පූජනීය ධාතූන් වහන්සේලා සහ බෝධි ශාඛාව පෙරහැරකින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.

මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ සාම්ප්‍රදායික අත්කම් විදහා දක්වන විශේෂ ප්‍රදර්ශනයක් ජාතික නිර්මාණ මධ්‍යස්ථානය විසින් අප්‍රේල් 28 සහ 29 යන දිනවල ගංගාරාම පරිශ්‍රයේදී පවත්වනු ලැබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *