Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සතුරු ප්‍රහාර මැද ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට

1 day ago

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිම කර තිබෙනවා.

ජුනි මස 30 වැනිදා සිදු කළ මෙම මානුෂීය මෙහෙයුම මඟින්, එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් ඉතිහාසයේ හදිසි මෙහෙයුමකදී එකවර තුවාලකරුවන් 14 දෙනෙකු සාර්ථකව මුදාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා පොත් අතරට එක්වනවා.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ‘අම් ඩැෆොක්’ (Am Dafok) ප්‍රදේශයේ සාමසාධක රාජකාරි මුරසංචාරයක නිරතව සිටි සැම්බියානු බලඇණියේ සෙබළුන් ඉලක්ක කරගනිමින් හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මෙම ප්‍රහාරයෙන් සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා.

තත්ත්වය බරපතළ වීම හේතුවෙන් තුවාල ලැබූවන් මුදාගැනීමට ප්‍රථමයෙන් පකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් කැඳවීමට උත්සාහ කළද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක වුණා.

ඒ අනුව, සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියා (Force Commander) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම භයානක ජීවිත ගලවාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාර ගත්තා.

තත්ත්වයේ බරපතළකම වටහාගත් ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ඇතුළු කාර්ය මණ්ඩලය, අයහපත් කාලගුණික තත්ත්වයන්ද නොතකා වහාම ක්‍රියාත්මක වී තිබුණා.

ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ ප්‍රධානත්වයෙන් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තුගේ සහය නියමු දායකත්වයෙන් යුතු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානය එදින පෙරවරු 07:30 ට (Bria) ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී මෙහෙයුම අරඹා තිබුණා.

මෙම වීරෝදාර කණ්ඩායමට ඇතුළත් නිලධාරීන් අතර ගුවන් ඉංජිනේරු බලපංති සැරයන් හෙට්ටිආරච්චි, ලෝඩ් මාස්ටර්: බලපංති සැරයන් මනෝජ්, ගුවන් අවිකරුවන් වන කෝප්‍රල් විජේතුංග සහ නායක ගුවන් භට අබේසිංහ, ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩායම (AMET): ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යාදීෂ රත්නසිරි, බලලත් නිලධාරි ඩී.එම්. සුමතිපාල සහ බලපංති සැරයන් කේ.පී.ඩී. රුවන්කුමාර සිටියා.

සටන් පවතින කලාපයේ තත්ත්වය වේගයෙන් දරුණු අතට හැරීම හේතුවෙන්, ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නියෝගය පරිදි සෘජුවම සටන් බිම වෙත යානය පියාසර කරවීමට නියමුවන් තීරණය කර තිබුණා.

පැය දෙකයි විනාඩි දහයක අඛණ්ඩ පියාසර කාලයකින් පසු, යානය සතුරු ප්‍රහාර එල්ල වන අතිශය අනතුරුදායක සටන් කලාපයට ළඟා වූ බවයි වාර්තා වුණේ.

හෙලිකොප්ටර් යානය ගොඩබැස්වීම පවා අනාරක්ෂිත වූ අතර, එහෙත් ජීවිත අවදානම පසෙකලා ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්, යානයේ එන්ජිම පණගන්වා තිබියදීම ඉතා කෙටි කාලයක් තුළ තුවාල ලැබූවන් 14 දෙනෙකු යානයට නංවාගෙන වහාම එම ප්‍රදේශයෙන් පිටත් වීමට සමත්ව තිබුණා.

ජීවිත ආරක්ෂාවට වඩා මානුෂීය මෙහෙයුමට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් දැක්වූ මෙම අසමසම නිර්භිතතාවය සහ වෘත්තීය නිපුනත්වය එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ (Force Commander) ඉහළම ඇගයීමට ලක්ව තිබෙනවා.

මෙමඟින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායන් සතු විශ්වසනීයත්වය සහ කීර්ති නාමය නැවත වරක් ඉහළින්ම තහවුරු වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *