Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

22 minutes ago

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය අද (01) දිනයේදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම ඉතා අවම මට්ටමක පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පද්ධතිය ඉන්දියාවේ ආන්ද්‍රා සහ විශාකාපට්නම් ආශ්‍රිත වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බවය.

එම පද්ධතිය ශ්‍රී ලංකාව දෙසට පැමිණීමේ හැකියාවක් නොමැති බවත්, පවතින දත්ත අනුව දිවයිනේ අභ්‍යන්තර කාලගුණ තත්ත්වයට එහි බලපෑම අවම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එසේ වුවද, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල නාවික හා ධීවර කටයුතුවල නිරත වන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසුවිය යුතු බවට ද දැනුම් දී තිබේ.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු එම ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ද එම ප්‍රජාවට උපදෙස් ලබා දී ඇත.

මේ අතර, දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය සාමාන්‍ය අන්තර් මෝසම් ලක්ෂණ පෙන්නුම් කරන බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව දහවල් කාලයේ සුළං වේගය අඩු මට්ටමක පැවතීමත්, පහළ වායුගෝලයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක පැවතීමත් හේතුවෙන් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යා හැකි බව ද ඔහු පැවසීය.

ඉදිරි දින කිහිපයේදී ද මෙම තත්ත්වය පැවතිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල දහවල් කාලයේදී සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *