Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්

20 minutes ago

2027-2029 වසර තුන සඳහා හෙද සේවයට 13,000ක පමණ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්‍ය සේවයට බඳවාගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා රෝහල් පද්ධතියේ පවතින කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගනිමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් පුරප්පාඩු පියවීමේ කටයුතු කඩිනම් කර ඇති බවයි.

2017 වසරෙන් පසුව හෙද සේවයේ පුරප්පාඩු පියවීම සඳහා අමාත්‍යාංශය මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

2019 සහ 2020 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිට, 2023 වර්ෂයේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 16ට ඇතුළත්ව වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ හෙද නිලධාරීන් 2,819 දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ.

මෙලෙස පත්වීම් ලැබූ හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.

මෙම පත්වීම් ලිපි ප්‍රදානයට සමගාමීව රෝහල් සේවයේ නිරත පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) 76 දෙනෙකු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) ලෙස උසස් කිරීමට අදාළ උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *