දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ජීවිතක්ෂයට පත්වූ මෙරට තරුණයා 27 හැවිරිදි විවාහකයෙකි.
එලෙස මියගොස් ඇත්තේ, මහනුවර උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිනාත් නමැති තරුණයෙකි.
ඔහු වසර 2 ක කාලයක් දකුණු කොරියාවේ රැකියාවක නිරත වී ඇති අතර මාස 02කට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වී තිබේ.
විවාහයෙන් පසු නැවත දකුණු කොරියාව බලා ගොස් ඇත්තේ මීට මාස එකහමාරකට පෙරය.
ජිනාත්ගේ ඥාති සහෝදරයෙක් සිය සහෝදරයාගේ වියෝව ගැන “අද දෙරණ”ට මෙලෙස අදහස් දැක්වීය.
“ගිය සැරේ ගිහින් ආවා. ඇවිල්ලා බැඳලා දැන් මාස එකහමාරක් විතර ඇති ගිහින්. තාම බබාලා නෑ. මේක අහිංසක පවුලක්. දෙමව්පියෝ දෙන්නම ලෙඩවෙලා ඉන්නේ. අම්මට ඇවිඳින්න බෑ. ගමේ දුප්පත් පවුලක්. රස්සාවක් නැතිකමින් තමා මෙයා රට ගිහින් තියෙන්නේ. පවුලේ නඩත්තුවට කිසිම වත්කමක් නෑ මෙයාලට.”
දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තවත් ශ්‍රී ලාංකිකයින්ට අනතුරු සිදුවී ඇත් ද යන්න පිළිබඳ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා තොරතුරු රැස්කරමින් සිටින බවය.
තෙරපීම සිදුව තිබුණේ දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටෙයිවාන් හි රාත්‍රී සමාජ ශාලා බහුල කලාපයේ ඊයේ පැවති දැවැන්ත සාදයක් අතරතුර ය.
එය “හැලෝවින්” හෙවත් මළවුන් සැමරීම සඳහා පැවති සාදයකි.
කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මුඛ ආවරණ නොමැතිව සහභාගී වීමට අවසර ලැබුණු පළමු හැලොවින් සාදය එය වූ බැවින් ඊට ලක්ෂය ඉක්මවූ පිරිසක් එක්ව තිබුණි.
එක්වරම එහි දැවැන්ත තෙරපීමක් හටගෙන තිබුණේ සාදයට පැමිණ සිටි පිරිස ඉතා පටු වීථියක ගමන් කරමින් සිටින අතරතුරය.
ඒ එරට වේලාවෙන් රාත්‍රි 10.20ට පමණය.
පොලිස් අණ නොතකමින් පිරිස ඒ වෙත ඇදී ආ බවත්, තෙරපීම ඉන් පසුව සිදුවූ බවත් සිදුවීම ඇසින් දුටුවන් පවසයි.
හුස්ම ගැනීමට අපහසු වීම බොහෝ දෙනාගේ මරණවලට හේතුවී ඇති බව සඳහන්ය.
තත්ත්වය පාලනය කිරීමෙන් පසු සිහිසුන්ව සිටි පිරිසට කෘත්‍රිම ශ්වසනය ලබාදීම උත්සාහ කෙරුණත් විශාල පිරිසක් එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි.
මියගිය පිරිසෙන් බහුතරය නව යොවුන් තරුණ තරුණියන් සහ වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් බව වාර්තා වේ.
තුවාල ලබා රෝහල්ගත කළ පිරිස 82කි.
මියගිය පිරිස අතර චීන, ඉරාන, උස්බෙකිස්තාන සහ නෝර්වේ ජාතිකයින් ඇතුළු විදේශිකයින් 19 දෙනෙකු ද සිට ඇත.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මියගිය ශ්‍රී ලාංකිකයා රැකියාවක් සඳහා විදේශගත වූවෙකු නොව අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වූ අයෙකු ලෙසට තොරතුරු ලැබී ඇති බවය.
තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු සරණාගත වීසා මත එරට රැඳී සිටි බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ අතර මියගිය සහ තුවාල ලැබූවන් අතර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඇතැයි මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව එම කාර්යාංශය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ තවත් ශ්‍රී ලාංකිකයින්ට අනතුරු සිදුවී ඇත් ද යන්න පිළිබඳ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා තොරතුරු රැස්කරමින් සිටින බවය.
-adaderana-