Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මරණ දඩුවම නියම වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු කවුද?

3 hours ago

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වූ ඔහු උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1972 වසරේදී අධිකාරීලත් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයට එක්විය.

නාවික හමුදාවෙන් විශ්‍රාම යන විට ඔහු කමාන්ඩර් ධූරය හොබවමින් සිටියේය. ඉන්පසූ සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධව ඔහු කටයුතු කර තිබිණි.

එමෙන් ම දුම්රිය සම්බන්ධ කෘති 3ක් ඔහු රචනා කර තිබේ.

1994 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධූරයට පත් වීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු අගමැති ලේකම්වරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරිය, මහජන බැංකුව, ස්වාධීන රූපවාහිනි සේවය, ආයෝජන මණ්ඩල සභාපති ධූරයේ කටයුතු කර තිබේ.

1997 වසරේ සිට 2018 වසර දක්වා මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර ද දැරුවේ ඔහු ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 3 වන දා හේමසිරි ප්‍රනාන්දු සිය කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත් කිරීමට කටයුතු කෙරිණි.

2018 වසරේ දෙසැම්බර් 21 වන දා ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට කටයුතු කළේ ය.

පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඉල්ලීමකට අනුව හේමසිරි ප්‍රනාන්දු 2019 අප්‍රේල් 25 වන දා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.

2019 ජූලි මස 2 වන දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ඇතුළු චෝදනා 850කට අධික ගණනක් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබිණි.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේදී ය.

නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුණේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.

මහාධිකරණය විසින් ලබා දෙන ලද එම තීන්දුව දෝෂසහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඉන්පසුව මෙම නඩුව නැවත කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේ ය.

ඒ අනුව, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරුණේ එලෙස නඩුව නැවත විභාගයට ගැනීමෙන් පසුව ය.

(source – bbc sinhala)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *