Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද

23 minutes ago

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ බොරු සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ අනුව අදාළ සාක්ෂිකරු රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග නියම කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා දේපළ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයකු බව කියන පාලිත ගමගේ නමැත්තකු සාක්ෂියට කැඳවා තිබුණා.

මෙම සාක්ෂිකරුගේ සාක්‍ෂි සටහන් කරගැනීම සිදුවන අතරවාරයේ අධිකරණයේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, මෙම සාක්ෂිකරු විමර්ශන නිලධාරීන්ට ලබාදුන් ප්‍රකාශවලට වඩා පරස්පර කරුණු මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරන බවත්, ඒ අනුව මෙම සාක්ෂිකරු පැමිණිල්ලට අහිතකර සාක්ෂිකරුවකු ලෙස නම් කර ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට විනිසුරුවරයා විසින් නියෝජ්‍ය සොලිසියට ජෙනරාල්වරයාට අවසර ලබා දුන්නා.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු ” මම ඉඩම් මිලදී ගෙන විකිණීම් ව්‍යපාරයක් කරගෙන යනවා. මම මෙම නඩුව සම්බන්ධයෙන් කටඋත්තර දෙකක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිටින විට එහි සේවය කළ තරිදු නමැති පුද්ගලයෙකුට රජයේ ටෙන්ඩර් කීපයක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 142 ක් ලබාදුන් බවට මම එම කටඋත්තරවල ප්‍රකාශ කළේ නෑ. පසුව මම තුන්වන කටඋත්තරයක් පොලීසියට ලබා දුන්නා. එම තුන්වන කටඋත්තරයේ මා සඳහන් කළා කලින් කටඋත්තර දෙකේ මා කී කරුණු අසත්‍ය බවට.” යනුවෙන් පැවසුවා.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ” ස්වාමීනි…මේ සාක්ෂිකරු කියන දේවල් ගැන සෑහීමකට පත් වෙන්න බෑ. මෙවැනි දේවල් වලට ඉඩ දෙන්න බෑ. මෙහෙම ගියොත් මේක විහිළුවක් වෙනවා.” යනුවෙන් පැවසුවා.

ඒ අවස්ථාවේදී සාක්ෂිකරු ඇමතූ විනිසුරුවරයා නිසි පරිදි සාක්ෂි ලබාදෙන ලෙස අවවාද කළා.

අහන ප්‍රශ්නවලට උත්තර දෙන ලෙසත් අධිකරණයේ කාලය නාස්ති නොකරන ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් සාක්ෂිකරුට අවවාද කළා.

අවසානයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, අධිකරණයට දැනුම් දුන්නේ මෙම සාක්ෂිකරුට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වන වගන්තිය යටතේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඉන් අනතුරුව අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් මෙම නඩු විභාගය අවසානයේදී නීතිපතිවරයා පියවර ගැනීමට අපේක්‍ෂා කරන බව විනිසුරුවරයා විසින් සාක්ෂිකරුට දැනුම් දුන්නා.

ඒ අනුව, රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇපයක් මත සාක්ෂිකරු මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව විභාගයට ගන්නා සෑම දිනකම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් එම සාක්ෂිකරුට තරයේ අවවාද කළා.

ඊට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයලට් ප්‍රනාන්දු නමැති කාන්තාවක් සාක්ෂි දෙමින් ” දෙහිවල මිහිදු මාවතේ පිහිටි තමන්ට අයිති ඉඩම් කොටසක් විකිණීම සඳහා අසල තිබූ යෝෂිත රාජපක්ෂගේ නිවසට ගියා. මගේ ඉඩම් කොටසට රුපියල් ලක්ෂ 25 ක් දෙන්නම් කිව්වා. මම රුපියල් ලක්ෂ 50 ක් ඉල්ලුවා. බෑ කිව්වා. රුපියල් කෝටියක් තුන් දෙනෙකුට බෙදන්න ඕන කිව්වා. ඒ අනුව මගේ ඉඩම් කොටසට රුපියල් ලක්ෂ 33 ක් දුන්නා” යනුවෙන් සඳහන් කළා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය ” මගේ ඉඩම් වික්කේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවකට නෙවෙයි. යෝෂිත රාජපක්ෂට විකුණන බව තමයි මම දැනගෙන හිටියේ. ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක් මම හඳුනන්නේ නෑ.” යනුවෙන් පැවසුවා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය “මම මගේ ඉඩමේ ගණන් කතා කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නිවසට ගියා. එතැන ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවක් සිටියා කියලා මම දන්නේ නැහැ. මම ඉඩමේ අයිතිය අත් හැරීමේ ඔප්පුවට අත්සන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී. වාඩිවෙලා හිටපු තුන් දෙනෙක් තමයි සල්ලි දුන්නේ. ” යනුවෙන් සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 02 වන දා දක්වා කල් තැබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *