Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෞද්ගලික අංශයටත් online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්

3 hours ago

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Season Tickets) අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ නව පහසුකම එළඹෙන ඔක්තෝබර් මස 01 වැනිදා සිට ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, සුදුසුකම් ලත් පෞද්ගලික අංශයේ සේවකයන්ට seatreservation.railway.gov.lk යන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේම සිය වාර ප්‍රවේශපත්‍ර සඳහා අයදුම් කිරීමේ පහසුකම සැලසේ.

මෙතෙක් රාජ්‍ය අංශය සඳහා පමණක් ක්‍රියාත්මක වූ මෙම පහසුකම පෞද්ගලික අංශයටද ලබාදීමේ නිල වැඩසටහන ඊයේ (08) බත්තරමුල්ල ප්‍රදේශය්‍ පිහිටි පුද්ගලික හෝටලයක‍ පැවැත්විණි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාද එක්ව සිටියේය.

නව ක්‍රමවේදය හඳුන්වාදීමේ අරමුණ වී ඇත්තේ දුම්රිය මාසික වාර ප්‍රවේශපත් ලබාගැනීමේදී මෙතෙක් මගීන් මුහුණ දුන් අපහසුතා අවම කිරීමයි. මීට පෙර වාර ප්‍රවේශපත් ලබාගැනීම සඳහා අයදුම්පතක්, ඡායාරූපයක්, පදිංචිය තහවුරු කිරීමේ ලේඛන සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදුව තිබූ අතර, සීමිත කාලසීමාවක් තුළ අදාළ සේවාව ලබාගැනීමටද සිදුව තිබිණි.

නව ක්‍රමවේදය යටතේ මගී අනන්‍යතාව සහ පරිශීලක ගිණුම සත්‍යාපනය කිරීමෙන් අනතුරුව නිවසේ සිටම මාර්ගගතව වාර ප්‍රවේශපත් ලබාගැනීමට හැකියාව ලැබේ.

මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ දුරකතන සන්නිවේදන පහසුකම් සපයන ආයතනයක් එක්ව ක්‍රියාත්මක කරයි.

දුම්රිය සේවය ඩිජිටල්කරණය කිරීමේ පුළුල් වැඩසටහන යටතේ මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබාදීමේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දී තිබේ.

මේ වනවිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ තෝරාගත් දුම්රිය ස්ථාන කිහිපයක් ආශ්‍රිතව සුහුරු ටිකට්පත් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර, දුම්රිය ආසන මාර්ගගතව වෙන්කරවා ගැනීමේ පහසුකම්ද ක්‍රමයෙන් පුළුල් කරමින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *