‘ලිට්ල් හාර්ට්ස්’ ජාතික අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් ආධාර ඉල්ලා මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (15) පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මෙම අත්අඩංගුවට ගැනීම් තහවුරු කළේය.
එක් සැකකරුවෙකු කල්පිටිය පල්ලිවසල්තුරේ ප්‍රදේශයේදීද තවත් සැකකරුවෙකු නොරොච්චෝලය කරඹ ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු 28 හැවිරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි සේනාධීර දුලාන් මහේෂිත ලෙසද අනෙක් සැකකරු 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මනික්කුගේ සඳරුවන් සිල්වා බවටද හදුනාගෙන තිබේ.
සේනාධීර දුලාන් මහේෂිත යන සකකකරු සමාජ මාධ්‍ය ක්‍රියාකාරි කයෙකු වන බව පොලිසිය සඳහන් කෙළේය.
සැකකරුවන් දෙදෙනා කොළොඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.
පොලිස් විමර්ශනයට අනුව, සැකකරුවන් පරිත්‍යාගශීලීන්ගෙන් රුපියල් මිලියන 2.9 ක් එකතු කර ඇති අතර, ඒවා ඔවුන් ඔවුන්ගේ පුද්ගලික භාවිතය සඳහා අයථා ලෙස භාවිත කර ඇත.
2016 දී ආරම්භ කරන ලද ‘ලිට්ල් හාර්ට්ස්’ ජාතික අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය, හෘද රෝග ඇති දරුවන්ට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ලබාදීමේ අරමුණින්, දෙරණ මාධ්‍ය ජාලය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා ළමා රෝග විද්‍යා විද්‍යාලය විසින් ආරම්භ කරන ලදී.