Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට

14 minutes ago

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (03) රාත්‍රියේ හටගත් මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද (04) පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබීය. එහිදී ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය සුරතල් පූසෙකුගේ සිරුරක් ද සොයාගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් ඇත. පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව තවත් දෙදෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් දිවි බේරාගත් වැඩිහිටි නිවාසයේ සිටි 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගැන්වීමට පියවර ගැනුණි.

අද පෙරවරුවේදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, විද්‍යාලයේ සිටි පිරිස මෙම වැඩිහිටි නිවාසයේම අනු ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, සිද්ධිය වන අවස්ථාවේදී පොලිස් රැකවරණය යටතට පත් කෙරුණු වැඩිහිටි නිවාසයේ හිමිකරු ද අද දින පරීක්ෂණ කටයුතු සඳහා එම ස්ථානයට කැඳවා තිබුණි. ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අඟුරුවාතොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *