Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ පාසල්වල ළමුන්ගෙන් මුදල් එකතු කිරීම ගැන රජයෙන් දැඩි ප්‍රකාශයක්

1 day ago

රජයේ පාසල්වල විවිධ අවශ්‍යතා සඳහා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු නිල අනුමැතියක් ලබා දී නොමැති බවත්, එවැනි එකතු කිරීම් මත කිසිදු දරුවෙකු පීඩාවට පත් කිරීමට ඉඩ නොතබන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය රජයන් සමයේ පාසල්වල මුදල් එකතු කිරීම සඳහා යම් නීත්‍යානුකූල භාවයක් ලබා දී තිබුණද, වත්මන් රජය එවැනි කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවයි.

කෙසේවෙතත් සාමාන්‍යයෙන් පාසලක හෝ රෝහලක අභිවෘද්ධිය වෙනුවෙන් ස්වේච්ඡා කණ්ඩායම් හෝ දෙමව්පියන් මැදිහත් වී කටයුතු කිරීම වැළැක්විය නොහැකි බව පැවසූ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා, නමුත් එවැනි එකතු කිරීම් මත පදනම්ව යම් දරුවෙකු අපහසුතාවයට හෝ අපහාසයට පත් කරනවා නම්, අමාත්‍යාංශය ඒ වෙනුවෙන් සෘජුව මැදිහත් වන බව එහිදී කියා සිටියා.

එමෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ආපනශාලා අලුත්වැඩියාවකට රුපියල් 6000 බැගින් මුදල් එකතු කරන බවට මාධ්‍යවේදියෙකු පෙන්වා දුන් කරුණට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පාසල් නඩත්තුව සහ ප්‍රතිසංස්කරණ සඳහා මධ්‍යම රජයෙන් සහ පළාත් සභාවලින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවයි.

“යම් තැනක ප්‍රතිපාදන නොලැබුණු ගැටලුවක් තිබේ නම් අපි ඒ ගැන සොයා බලනවා. පසුගිය සතියේ පවා පාසල්වල සෞන්දර්ය උපකරණ මිලදී ගැනීම සඳහා පමණක් රුපියල් මිලියන 1250ක කැබිනට් පත්‍රිකාවක් අපි අනුමත කළා.”

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණය අවශ්‍ය වුවද, සෑම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් සවිකරන තෙක් අධ්‍යාපන කටයුතු ප්‍රමාද නොකරන බව අමාත්‍යවරයා පැහැදිලි කළා.

දැනට පවතින විෂය මාලාවන් එම පහසුකම් නොමැතිව වුවද ක්‍රියාත්මක කළ හැකි බවත්, භෞතික සංවර්ධනය ක්‍රමානුකූලව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අසාධාරණ ලෙස මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් නිල පැමිණිලි ලැබී නොමැති බව පෙන්වාදුන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ, , එවැනි පැමිණිල්ලක් ලැබුණහොත් ඒ පිළිබඳ විමර්ශනය කර කටයුතු කිරීමට රජය සූදානම් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *