Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි

54 minutes ago

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා, ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට ඊයේ (21) නියෝග කර තිබෙනවා.

අසත්‍ය තොරතුරු මත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන ලෙස දැනුම් දෙමින් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මීට පෙර පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

කෙසේ වෙතත්, එම නියෝගය ක්‍රියාත්මක කිරීම වෙනුවට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාස සඳහා පමණක් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම ලේඛනය පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, එය අධිකරණය ලබාදුන් නියෝගයට අනුකූල නොවන බව පෙන්වා දෙමින් පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළා.

“මේක මාව අන්දවන්න කරන දෙයක්” යනුවෙන් ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියෝග කර තිබියදී ප්‍රදේශ කිහිපයකට පමණක් මාර්ගෝපදේශ නිකුත් කිරීම පිළිගත නොහැකි බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කිරීමට පසුබිම් වී ඇත්තේ ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් චාමර චතුරංග මාරසිංහ නමැති පුද්ගලයෙකුට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මත නඩු දෙකක් පැවරීමේ සිද්ධියක්.

අදාළ නඩු නිස්සාරණ ලෙස පවරා ඇති බවට මීට පෙර තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, එම පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

එමෙන්ම, මෙවැනි ආකාරයෙන් ජනතාව පීඩාවට පත්කරන නඩු පැවරීම් වැළැක්වීම සඳහා සියලු පොලිස් නිලධාරීන්ට අදාළ වන චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.

ඒ සඳහා මාස පහකට ආසන්න කාලයක් ලබාදී තිබියදීත් අදාළ නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා.

මීට අමතරව, සිද්ධියට අදාළ අංක 1743 සහ 1744 දරන නඩු ගොනු දෙක ද අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර ඇති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *