Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බලයි

16 minutes ago

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ එක් විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය විසින් ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළ කර තිබෙන අතර සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7.7කි.

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට අදාළව අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය සිදු කෙරෙයි.

‍ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යුහාත්මක සැලැස්මක් සකස් කර අනුරාධපුර පූජාභූමි සැලසුම් යෝජනා ක්‍රමය ලෙස ගැසට් කර ඇත.

එය 2026-02-27 වන දින ගැසට් පත්‍රයක් මගින් නැවත “යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සහ සංවර්ධනය කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක ප්‍රකාශයට පත් කර ඇත.

අනුරාධපුර පූජා නගරය වෙත පැමිණි ජනාධිපතිවරයා පාගමනින් ඇවිද යමින් සංවර්ධන කටයුතුවලට අදාළ භූමිය සහ සැලසුම් නිරීක්ෂණය කළ අතර, නිලධාරින් සමඟ සාකච්ඡා කරමින් එම කටයුතුවල ප්‍රගතියද විමසා බැලීය.

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සහ බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අනතුරුව, රුවන්වැලි සෑය ආසන්නයේ අක්කර අට ප්‍රදේශයේ රථගාල ඉදිකිරීමට යෝජිත භූමිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ භූමි හා සැලසුම්ද නිරීක්ෂණය කළේය.

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පෞරාණිකත්වය සහ ආගමික වටිනාකම සුරක්ෂිත වන අයුරින් සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු අදාළ සියලු පාර්ශ්වයන් එක්ව සාකච්ඡා කර විසඳා ගනිමින් සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

මේ අතර, ඓතිහාසික රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

එහිදී වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ආශීර්වාද සිදු කෙරුණි.

මෙහිදී පැමිණ සිටි ජනතාව සමගද ජනාධිපතිවරයාව සුහද කතා බහක නිරත විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *