අභිනවයෙන් ඉදි කරන ලද “අධිකරණ පියස 1” සහ මහජන චින සමුහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් වන නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල අද (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
අගවිනිසුරු ජනාධිපති නීතීඥ මුර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව තිබුණා.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ශක්තිමත් කරමින් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය 1988 වසරේදී පරිත්‍යාගයක් ලෙස චින රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.
ඒ, උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස නවීකරණය කිරීමට සහ අදාළ තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබා දීමට මහජන චීන සමුහාණ්ඩුව, ශ්‍රි ලංකා රජය සමඟ 2016 වසරේ දී එළඹුණු එකඟතාවයක් මතයි.
මෙම ව්‍යාපෘතියේ පළමු පියවරේදී නව පහසුකම්වලින් සමන්විත සත් පුද්ගල, පංච පුද්ගල, ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව අභියාචනාධිකරණ විනිශ්චය ශාලා 11 ක්, විනිසුරුවරුන් සඳහා නිල කාමර 20 ක්, කාර්ය මණ්ඩල කාර්යාල පහසුකම්, ස්වයංක්‍රිය කැමරා පද්ධතියකින් යුත් නවීන පාලක මැදිරියක්, විනිසුරුවරුන් වෙනුවෙන් වාහන අංගනයක්, නවීන උපාංග සහිත ආපන ශාලාවක්, විදුලි සෝපාන හා නඩු වාර්තා කාමර තුනකින් සමන්විතව අභියාචනාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ල නවීකරණය කර තිබෙනවා
අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන “අධිකරණ පියස -1” ද මෙයට සමගාමීව ජනතා අයිතියට පත් කෙරුණා.
එහි දෙවන ව්‍යාපෘතිය ලෙසින් දිසා හා මහාධිකරණ සංකීර්ණයත්, තෙවන ව්‍යාපෘතිය ලෙස අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය හා සිව්වන ව්‍යාපෘතිය ලෙස නිල නිවාස සංකීර්ණයද ඉදි කිරීමට නියමිතයි.