විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් තුළින් ව්‍යාපාර වැසී ගොස්, බදු ඔරොත්තු දිය නොහැකි සමාජ කණ්ඩායම් අතර බරපතල සමාජ අසහනයන් වර්ධනය කළ හැකි බව 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඇති හැකි සියළු දෙනා රටෙන් පලාගොස් ශ්‍රී ලංකාව මානව කාන්තාරයක් බවට පත් විය හැකි බව ද හෙතෙම අනතුරු අඟවයි.
රජය විසින් සිදු කරන ලද බදු වැඩිකිරීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරනවා.
“වැට් බද්ද ඊට අමතරව පිරිවැටුම් බද්ද වැඩි කරපු ආණ්ඩුව දැන් අලුත් ආදායම් බදු ප්‍රමාණයක් හඳුන්වලා දීලා තියෙනවා. පුද්ගලික ආදායම් බදු රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලුම දෙනාටත්, ඒ වගේම ආයතන, විශේෂයෙන්ම වාණිජ ආයතන සඳහා වූ බදු මුදල් වැඩි කරලා තියෙනවා. මෙයින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ, කිසියම් ආකාරයකට තමන්ගේ ආදායම් වැඩි කරගැනීම විය හැකියි. වැට් වැනි වක්‍ර බදු වලින් ඇති නැති සියලු දෙනාටම බදු පනවනවාට වඩා ආණ්ඩුවට තර්ක කරන්නේ අපි තියෙන අයගෙන් ගන්න යන ක්‍රියාවලියක් තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ කියලා. නමුත් අපි එකක් මතක තබා ගත යුතුයි මේ සෑම බද්දකම සමාජ වියදමක්. සමාජ අසහනයක් තියෙනවා. පසුගිය කාලයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා, විශේෂයෙන්ම රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති නිසා මිනිස්සුන්ගේ අතේ තිබෙන සල්ලිවල වටිනාකම දියවෙලා ගියා. 2019 දි රුපියල් ලක්ෂයක් තිබුණු කෙනෙක්ගේ අද ඒ වටිනාකම රුපියල් තිස්දාහට වැටිලා තියෙනවා. ඒ නිසා රුපියල් ලක්ෂෙට බදු ගහනවා කියන්නේ, ඒ ආකාරයට වටිනාකම් අහිමි කරපු තවත් බද්දක් එකතු කරලා ඒ වටිනාකම් උදුරා ගැනීමක් පමණයි.
ඉහළ ගණයේ පිරිස් වලින් බදු අය කර ගැනීම ගැන මේ රටේ කිසිම විවාදයක් නෑ. අදටත් මේ රටේ බඩු ආදායමෙන් 80% කට වැඩි ප්‍රමාණයක් එන්නේ වක්‍ර බදු වලින්. (වැට් බදු, එන්.බී.ටී බදු වැනි දේවල්) ඒ වෙනුවට ආදායම් බදු හරහා, ඒ වගේම වාණිජ බදු හරහා, ඒ වගේම ඉහළ ගණයේ ආයතන හරහා ලබා ගන්නා බදු හරහා මුදල් අයකර ගැනීමෙන් ආණ්ඩුවට ඒක පිළිබඳ විරෝධයක් ඇතිකර ගැනීම එක්තරා ආකාරයකට සමාජ අසාධාරණ ක්‍රියාවලියක්. කෙසේ නමුත් මේ රුපියල් ලක්ෂය කියන එක බැලූ බැල්මට ලොකු ගාණක් හැටියට පෙනුනට මේක මේ රටේ රජයේ සේවකයින් අති බහුතරයකටත් පුද්ගලික අංශයේ සේවකයින් අති බහුතරයකටත් බලපාන දෙයක්. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැනටමත් දැවැන්ත පොලී අනුපාතයකට 30% ක පමණ, ඊට අමතරව 15% ක වැට් බද්දකට, 2.5% ක පිරිවැටුම් බද්දකට,හසුවෙලා, කුඩුපට්ටම් වෙලා යන අතරේ, මේ බදු ක්‍රියාවලියෙනුත් සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ ආදායම වැඩි වෙනවාට අමතරව ඉදිරි කාලයේ ආණ්ඩුවට ව්‍යාපාර ටික වැහී ගිහිල්ලා කිසිම ආදායමක් නැති වෙන තත්වයක් ඇතිවීම පමණයි.
ආණ්ඩුවට ඇයි මේ වෙලා තියෙන්නේ? ආණ්ඩුවට අද රජයේ පඩි ගෙවා ගන්න විදිහක් නැහැ. ඔක්තෝම්බර් මාසයේ ඉතාම අසීරු මාසයක් ආණ්ඩුවට. නොවැම්බර් මාසය ගැන හිතාගන්නවත් බැහැ. දෙසැම්බරය ගැන බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. ඉතින් හිතනවා මේ ආකාරයේ බදු වැඩි කිරීම් මගින් යම් මුදලක් එයි කියලා. මොකද අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් දැන් මුදල් අච්චු ගැහීමටත් තියෙනවා. ඒ නිසා මහ බැංකුවට සිද්ධ වෙලා තියෙනවා අධික පොලියට. 37% ට භාණ්ඩාගාර බිල්පත් හරහා මුදල් රැස් කරන්න, පඩි ගෙවන්න, සංවර්ධනයට නෙමෙයි පඩි ගෙවන්න. ඒ නිසා මේ විෂම චක්‍රය විසින් කිසිම ආකාරයකට මේ සමාජයට සිදු වෙන්නේ මොකක්ද කියලා හොයන්නේ බලන්නේ නැතුව, පිස්සු බල්ලෝ රැලක් වගේ මහ බැංකුවේ අධිපති මුදල් ඇමති, ජනාධිපතිවරු 2020-21 සල්ලි අච්චු ගහලා කළා වගේම ක්‍රියාවලියක් දැන් මේ අනිත් පැත්තට මහ බැංකුවේ අධිපතිවරයා, මුදල් ඇමතිලා, ජනාධිපතිලා මේ කරගෙන යන්නේ.කිසිම ආකාරයකට ඔරොත්තු නොදෙන සමාජ කණ්ඩායම් වලට තවදුරටත් මේ බදු බර පැනවීම. මෙහි කිසියම් සීමාවකදී මිනිස්සු නැවත වතාවක් නැගිටින්න පුළුවන් කියන එක පමණක් අපි මතක තබා ගත යුතුයි. ඒ මගින් රටට ඇති කරන්න නියමිත විනාශය, ව්‍යසනය ඉතාම විශාලයි.
ඒ නිසා කවර බද්දකට පෙර හෝ සමාජයේ තත්වය පිළිබඳ වැදගත් ඇගයීමක් නොකොට එය සිදු කිරීම බරපතල වරදක්. මොකද වසර තුනෙන් තුනට කුටුම්භ පරිභෝජනය පිළිබඳව දත්ත ප්‍රමාණයක්, විශ්ලේෂණයක් සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරනවා. වසර දහයෙන් දහයට විධිමත් ජන සංගණනයක් කරනවා. ඒ එකක්වත් නො කොට ඒ සමාජයට මොකද උනේ කියලා හොයන්නේ බලන්නේ නැතුව පහුගිය අවුරුදු තුන ඇතුලේ කෝවිඩ් සහ මේ ආර්ථික බංකොලොත්භාවය අතරේ මේ ක්‍රියාදාමයන් මගින් සිද්ධවෙන්නේ විනාශය තවත් වැඩිදියුණු කිරීමක්.
විශේෂයෙන්ම දැනටමත් දුගී දුප්පත් පන්තිය බවට පත්වෙමින් තිබෙන පහළ මධ්‍යම පන්තිය දුගී පන්තියක් බවට පත්වීමත් ඉහළ මධ්‍යම පන්තිය පහළ මධ්‍යම පන්තියටත් වැටිලා සමාජය තුළ බරපතල අසහනයක් ඇති වෙලා ඇති හැකි සියලු දෙනා රටෙන් පලා ගිහිල්ලා රට මානව කාන්තාරයක් බවට පත්වීම විතරයි. ඒ නිසා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් මතක තබාගන්න ඕන ගන්නා සෑම බදු පියවරක් ම මතම සමාජ වියදමක් තියෙනවා. ඒ වගේම සමාජ අසහනයක් නිර්මාණය වෙනවා. එය දේශපාලන අර්බුදයක් බවට පත්වෙනවා කියන එක. ඒ නිසා විද්‍යාත්මක ආකාරයට මේ කටයුත්ත කිරීම, සමාජ සාධාරණත්වයේ මූලධර්ම වලට අනුව මේ කටයුත්ත කිරීම ගැන මීට වඩා පුළුල් සංවාදයක් රටට අවශ්‍යයි.
-මාධ්‍ය අංශය-