ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම සියයට 59කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම දත්ත වාර්තාවලට අනුව 2024 වසරේදී අයදුම්පත් 3,313ක් සහ 2023 වසරේදී අයදුම්පත් 3,456ක් ලැබී තිබුණද, 2025 වසරේදී එම ප්‍රමාණය 5,277 දක්වා වර්ධනය වී තිබේ. මෙය 2024 වසරට සාපේක්ෂව අයදුම්පත් 1,964ක වැඩි වීමක් වන අතර, එම අයදුම්කරුවන් අතරින් සියයට 70කට වැඩි පිරිසකට මේ වන විටත් වෛද්‍යාධාර ලබා දී අවසන් කර තිබීම විශේෂත්වයකි.
පසුගිය 2025 පෙබරවාරි 07 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කිරීමත් සමඟ, දුර බැහැර පළාත්වල ජනතාව ජනාධිපති අරමුදල වෙත යොමු වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
විශේෂයෙන්ම උතුරු පළාතේ අයදුම්පත් යොමු කිරීම සියයට 253කින් ද, නැගෙනහිර පළාතේ සියයට 135කින් ද, මධ්‍යම සහ ඌව පළාත්වල පිළිවෙළින් සියයට 116කින් සහ 108කින් ද වර්ධනය වී තිබේ. මෙම වැඩසටහනේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අරමුදල මඟින් සපයනු ලබන සෙසු සේවාවන් ද ඉදිරියේදී විමධ්‍යගත කිරීමට රජය පියවර ගෙන ඇත.
