Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්

2 hours ago

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.

අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ සැප්තැම්බර් 03 වනදා සිට පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.

2026 උසස් පෙළ විභාගය අද (10) ආරම්භ වූ අතර සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය. 

මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටිති.

දිවයින පුරා විභාග කටයුතු අද උදෑසන 8.30ට නියමිත පරිදි ආරම්භ කළ බවත් මේ වන තෙක් කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම සංශෝධනය කර ඇති විභාග කාලසටහන සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසත් එහි දක්වා ඇති පරිදි නිසි වේලාවට සහ නියමිත දිනට විභාගය සඳහා පැමිණෙන ලෙසත් ඉන්දිකා කුමාරි මහත්මිය අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. 

විභාග ශාලා තුළට ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, ඉලෙක්ට්‍රෝනික් උපකරණ, සටහන් ආදී තහනම් ද්‍රව්‍ය ගෙන ඒමෙන් වැළකී සිටින ලෙස ද ඇය වැඩිදුරටත් දන්වා තිබේ.

විභාග ශාලාව තුළ කතාබහ කිරීම, පිළිතුරු පත්‍ර හුවමාරු කරගැනීම හෝ බාධා වන අයුරින් හැසිරීම වැනි අක්‍රමිකතාවල නිරත වන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවීම ඇතුළු දැඩි දඬුවම් පමුණුවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

විභාග කාර්ය මණ්ඩලය අතුරින් ජංගම දුරකථන භාවිත කිරීමට අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට සහ අතිරේක සහකාර ශාලාධිපතිවරුන්ට පමණක් වන බවත් විභාග සඳහා පෙනී සිටින කාර්ය මණ්ඩලයට ඊට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය. 

එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල්වරිය කියා සිටියේ විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ වන ඕනෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට විභාග පනතට අනුව දඬුවම් පමුණුවන බවය.

මේ අතර දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මේ වන තෙක් ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බවත් යම් හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් ඊට මුහුණ දීම සඳහා සියලු ආයතන සූදානමින් සිටින බවත් ඉන්දිකා කුමාරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *