Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි

11 hours ago

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති සිදුවීමේදී උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව ගැන පමණක් අවධානය යොමු නොකර, උන්වහන්සේ මතු කළ කාරණා පිළිබඳව ජනතාව මෙන්ම රජය ද දැඩි සංවේදීතාවක් දැක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, “හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බැලීම” වෙනුවට පෙන්වා දෙන සැබෑ අර්ථය තේරුම් ගත යුතු බවයි.

පුද්ගලයෙකුගේ උපතින් ලැබුණු කටහඬේ ගොරෝසු බව පදනම් කරගෙන ඔහු ඉදිරිපත් කරන ප්‍රකාශයන් අවතක්සේරු නොකළ යුතු බවත්, අතීතයේදී මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ අතිශය ශාන්ත, සිල්වත් හඬකින් මෙම ජාතික කාරණා පෙන්වා දුන් අවස්ථාවලදී ද සමාජය ඊට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.

එබැවින් හඬ නොව, එහි අන්තර්ගත ජාතික කාරණා කෙරෙහි අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බව ධම්මරතන හිමියෝ පැවසූහ.

මේ වන විට මහානායක හිමිවරුන් සහ කෝට්ටේ සංඝ සභාව ඇතුළු සංවිධාන රැසක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පිරිස් සූදානම් වන බව උන්වහන්සේ සඳහන් කළහ.

මහානායක හිමිවරුන්ගේ ලිපිය කෙරෙහි රජය යම් අවධානයක් යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම, සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ ගිණුම් ඔස්සේ තමන් වහන්සේ ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල වන බව අනාවරණය කළ උන්වහන්සේ, “ඊළඟට ජම්පරය අන්දවන්නේ ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ට” යැයි ඇතැමුන් ප්‍රචාරය කරමින් සිටින බව සඳහන් කළහ.

එලෙස අවලාද සහ මඩ ප්‍රචාර පතුරුවන පුද්ගලයන් කෙරෙහි තමන් වහන්සේ උපේක්ෂාවෙන් හා කරුණාවෙන් යුතුව අනුකම්පා කරන බවත්, ඔවුන්ගේ ජීවනෝපායන්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

අවසාන වශයෙන්, ඥානසාර හිමියන් වෙනුවෙන් රට පුරා බෝධි පූජා පවත්වා ආශිර්වාද එක්කිරීමට කටයුතු කරන ලෙසත්, රටේ පොදු ජනතාව මෙන්ම ජාතික සංවිධාන ද මෙම ගැටලුවේදී මතුපිටින් නොබලා එහි ගැඹුරු යථාර්ථය වටහාගෙන සංවේදීව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

මෙම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *