අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා ඇපමත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවිය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරකට අනුව එහි විමර්ශන නිලධාරීන් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි නිවසක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ පසුගිය සිකුරාදා මධ්යම රාත්රී 12ට පමණය.
නිවසේ හිමිකරු වූයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ තැනැත්තාය.
පැය 4කට ආසන්න කාලයක් සිදුකෙරුණු සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව නිවසේ තිබී සේප්පුවක් විමර්ශන නිලධාරින් භාරයට ගැණුනු අතර එහිදී සැකකරු සඳහන් කර තිබුණේ එහි ආරක්ෂිත මුර පදය අමතක බවය.
අනතුරුව පසුදින උදෑසන අල්ලස් කොමිසම වෙත ගොස් ප්රකාශයක් ලබාදුන් සැකකරු ඉන් පිටවගොස් තිබුණි.
කෙසේවෙතත් අල්ලස් කොමිසමේ දැනුම්දීමකට අනුව සැකකාර සංජය සමරසිංහ මහතා ප්රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකු ද සමඟ එම කොමිසම හමුවේ ඊයේ (19) පෙනීසිටි අතර ප්රකාශ ලබාගැනීමෙන් පසු ඔහු කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණි.
ඊයේ රාත්රීයේ කුරුඳුවත්ත පොලිසියේ රඳවා තැබුණු සැකකරු අද දහවල් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් කරුණු ඉදිරිපත් කළේය.
“ස්වාමීනී..ඉකුත් 16 වැනිදා මෙම සැකකරුගේ නිවස පරික්ෂාවේදී අල්මාරියක් තුළ තිබූ සේප්පුවක් හමුවුණා. එය විවෘත කරන ලෙස ඉල්ලීම් කළත් එහි “ආරක්ෂිත මුරපදය” තමන්ට මතක නැතැයි සැකකරු සඳහන් කළා. පසුව එහි නිෂ්පාදිත සමාගමේ තාක්ෂණ නිලධාරීන් ගෙන්වා එය විවෘත කළා. එහි තිබී රුපියල් 1,805,000/- මුදල්, රුපියල් ලක්ෂ 08 ක් පමණ වටිනා “කාටියා” වර්ගයේ අත් ඔරලෝසුවක්, සහ රන් ආලේපිත යැයි සැලකෙන පා සලඹ අටක් සොයා ගැනුණා. සොයාගත් මුදල්වලින් රුපියල් ලක්ෂ පහළොවක් තමන්ගේ බවත්, ඉතිරිය මව්පියන්ගේ බවත් සැකකරු පැවසුවා. මීට වසර එක හමාරකට පමණ පෙර වාහනයක් විකිණීමෙන් එම මුදල් ලැබුණු බවත් ඔහු සඳහන් කළා. නමුත් ස්වාමිනි සැකකරු මුලින් ලබාදුන් ප්රකාශය සහ ඊයේ ප්රකාශය අතර පරස්පරතා නිරීක්ෂණය වීම නිසා ඔහු අත්අඩංගුවට ගත්තා.”
ඒ අනුව 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ 72 (1) වගන්තිය ප්රකාරව විමර්ශන සිදුකරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.
“ස්වාමීනි… ඉකුත් 16 වැනිදා රාත්රී දහයට පමණ අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පසුදා අලුයම 4.00 දක්වා මගේ සේවාදායකයාගේ මුළු නිවසම පරීක්ෂා කළා. එහිදී ඔවුන්ට හෙරොයින්, කොකෙන්, මැණික්, නීති විරෝධී ගිනි අවි වැනි කිසිවක් හමුවුණේ නෑ. අවසානයේදී අල්මාරියක් තුළ තිබූ කුඩා සේප්පුවක් සොයාගත්තා. ස්වාමීනි…එහි තිබී සොයාගත් මුදල් මගේ සේවාදායකයා වාහනයක් විකිණීමෙන් ලබාගත් මුදල්. ඉතිරි මුදල් ප්රමාණය ඔහුගේ පියාගේ. එම වාහනයට අදාළ ලේඛනත් මා අධිකරණයට ඉදිරිපත් කරනවා. එම මුදල් පිළිබඳව ඔහුගේ වත්කම් බැරකම් ප්රකාශයේද සඳහන් කර තිබෙනවා. එබැවින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.”
ඒ අනුව දෙපාර්ශ්වය මගින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ කරමින් පැමිණිල්ල දෙසැම්බර් 18 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

පැය 42ක ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න
මොරටුවේ වෙඩි තැබීමක්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
බොරැල්ල ප්රදේශයේ මාර්ග අවහිරතාවක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසියෙන් දැනුම්දීමක්
ප්රසන්න රණතුංගගේ නඩුව කල් යයි
නාමල් රාජපක්ෂගේ ලේකම්ට ඇප
පාසල් සිසුන්ට අලුතින් ප්රතිලාභ රැසක්
ජී.එල්. අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්
ලිට්රෝ ගෑස් ගැන දැනුම්දීමක්
දිස්ත්රික්ක 07කට ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්