Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ

1 day ago

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොනුකර තිබූ ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව මන්ත්‍රීවරයා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන එළැඹෙන නොවැම්බර් 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහි නීති කෘත්‍යය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(23) යළි කැඳවිණි.

එහිදී රක්ෂිත බන්ධනාගාරගකර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ සැකකාර ජානකී සිරිවර්ධනව බන්ධනාගාර නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමේ නියෝගය මෙහිදි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට කර සිටියේය.

“සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ ඇප අයැදුමේ ඔහු වෙනුවෙන් ගෙන තිබූ ප්‍රධාන ස්ථාවරය තමයි ඔහු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොනුකර තිබූ දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාර සහතිකය වලංගු නැහැ කියන කාරණය. නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව අධිකරණය එම සහතිකය පිළිගන්නා තත්ත්වයක සැකකරු සම්බන්ධයෙන් ඇප සලකා බැලීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී තිබිය යුතුයි. නමුත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබූ බොහෝ කරුණු නෛතික ස්ථාවරයන් මිස ඇප ලබාදීමට සුවිශේෂි කරුණු නොවේ. එබැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.”

අනතුරුව විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් නඩුවේ පස්වන සැකකාරිය ලෙස ප්‍රශ්නගත ගනුදෙනුව වන අවස්ථාවේ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ අශ්චර්යා සෝනි යන අයවද නම්කරන බව අධිකරණයට දැනුම්දුන්නේය.

“ස්වාමිනි, ප්‍රශ්නගත රුපියල් මිලියන 70ක අල්ලස් ලබාදීම සිදුව ඇත්තේ අවස්ථා 03කදී. එම අවස්ථාවන්හීදි මෙම සැකකාරියත් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක්ව සිට තිබෙනවා. වැඩිදුර විමර්ශනයේදී බැංකු වාර්තා කිහිපයක් ඔස්සේ ඒ පිළිබඳ අනාවරණය වුණා. මීට අමරතව ක්‍රිෂ් සමාගමේ එවකට සේවකයින් කිහිපදෙනෙකුගෙන්ද අප ප්‍රකාශ සටහන්කර ගත්තා. මීට පෙර ඉතා බියකින් කරුණු ඉදිරිපත් කිරීමට සහ ප්‍රකාශ ලබාදීමට මැලිවූ සාක්ෂිකරුවන් දැන් මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා බියකින් තොරව දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබාදී තිබෙනවා වගේම ලේඛන කිහිපයක්ද විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබෙනවා. මේ වෙද්දි ප්‍රශ්නගත ක්‍රිෂ් සමාගම ඈවර කරලා තිබෙන්නේ. මේ අල්ලස් මුදල ලබාගත් බව කියන සිව්වන සැකකාර නාමල් රාජපක්ෂ ප්‍රශ්නගත ගනුදෙනුව සමයේ නිකුත් කළ බව කියන ලිපියක අත්අකුරු මොහු මෑතකාලීනව පාර්ලිමේන්තුවට ලබාදී ඇති ලේඛනවල අත්අකුරු සමඟ සංසන්දනය කිරීමටද අපි බලාපොරොත්තුවෙනවා.”

අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කෙටි කරුණු දැක්වීමක් සිදුකළේය.

“ස්වාමිනි මෙය අසාධාරණයි. සමහරුන්ට අල්ලස් කොමිසම කෙලින්ම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරනවා. සමහරුන්ට දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය ගොනුකරලා රිමාන්ඩ් කරනවා. මෙය දේශපාලනික අරමුණකින් සිදුවෙන ක්‍රියාවලියක් ස්වාමිනි.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නීති කෘත්‍යය නොවැම්බර් 06 වනදා යළි කැඳවීමට දින නියම කරමින් එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *