ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(14) සමත් වුණා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 44ක් තුළ ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 42.3ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඔවුන්ගේ ඉනිම ආරම්භයේ දී තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 301ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔස්ට්‍රේලියා ඉනිමේ පන්දුවාර 12.4ක් අවසානයේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ බැවින් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 72ක්.
වර්ෂාවෙන් අනතුරුව තරගය රාත්‍රී 9.10ට යළි ආරම්භ කෙරුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 44කදී තරගය ජය ගැනීම සදහා ලකුණු 282ක ඉලක්කයක් හිමි කර දෙමින්.
ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා සිටියදීත්, නායක ආරෝන් ෆින්ච් ලකුණු 44ක් ලබා සිටියදීත් දැවී ගියා.
ස්ටීවන් ස්මිත් ලකුණු 53කට දැවී ගියේ දුනිත් වෙල්ලාලගේගේ මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල ලෙසයි. මර්නස් ලබුෂේන් ලකුණු 24යි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 44ක් ලබා ගත්තා. ඇලෙක්ස් කෙරී ලකුණු 21යි.
ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය ග්ලේන් මැක්ස්වෙල් පන්දු 51කින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.
පන්දු යැවීමේ දී ආබාධයක් සහිතව පන්දු යැවීමෙහි නිරත වූ වනිදු හසරංග ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත්තා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 300ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.
ආරම්භක කඩුල්ල සදහා ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක ලකුණු 115ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.
ධනුෂ්ක ලකුණු 55කට දුවද්දී දැවී ගිය අතර, පැතුම් ලකුණු 56ක් ලබා සිටියදී රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී ගියා.
චරිත් අසලංක ලකුණු 37යි. ශ්‍රී ලංකා මැදපෙල ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 86ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා.
ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් වනිදු හසරංග පන්දු 19කින් ලකුණු 37ක් ලබා ගත්තා.
ඔහු ජායි රිචර්ඩ්සන් යොමු කළ ඉනිමේ 49 වැනි පන්දුවාරයේ දී පිට පිට හතරේ පහර 5ක් එල්ල කිරීම කැපී පෙනුණා.
පන්දු යැවීමේ දී ඇෂ්ටන් ඒගාර් හා මර්නස් ලබුෂේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
source – hitwicket.lk